2026 F1 තරග වාරයේ Ferrari ගමන් මග

Jul 30, 2026 09:54 pm (4 days ago)
FerrariF1
2026 F1 තරග වාරයේ Ferrari ගමන් මග

Photo Courtesy - Getty Images

2026 Formula 1 තරග වාරය තුළදී Ferrari කණ්ඩායම පෙර තරගාවරයට සාපේක්ෂව පැහැදිලි ප්‍රගතියක් අත් කොට ගෙන තිබෙනවා.

Ferrari කණ්ඩායම් ප්‍රධානී Fred Vasseur සඳහන් කරන ආකාරයට, මෙම තරග වාරයේ මුල් අදියර 11 තුළ කණ්ඩායමේ වර්ධනය පැහැදිලි රටාවකට සිදුවී තිබෙනවා.

තරග වාරය ආරම්භයේ සිටම Constructors Championship හි දෙවැනි ස්ථානය රැකගැනීමට Ferrari සමත් වුවද, මුල් තරග කිහිපයේදී Mercedes කණ්ඩායම දැවැන්ත ආධිපත්‍යයක් පතුරවන්නට සමත් වුණා.

ස්පාඤ්ඤ ග්‍රොන් ප්‍රීතරගයට පෙර මොනාකෝ දක්වා පැවැති තරගවලදී Mercedes කණ්ඩායම Ferrari කණ්ඩායමට වඩා ප්‍රසාද ලකුණු 100කට ආසන්න ප්‍රමාණයක් ඉදිරියෙන් රැදෙන්නට සමත් වුණා.

නමුත් ස්පාඤ්ඤ අදියරෙන් පසුව Ferrari කණ්ඩායම නැවතත් ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ අතර, ස්පාඤ්ඤයේ සිට පැවැති අදියර 4-5 ඇතුළත Mercedes කණ්ඩායමට වඩා වැඩි ප්‍රසාද ලකුණු ප්‍රමාණයක් රැස් කිරීමට ඔවුන් සමත් වුණා.

Lewis Hamilton බාර්සිලෝනා හිදීත් Charles Leclerc, Silverstone හිදීත් ජයග්‍රහණ හිමිකර ගනිමින් Ferrari කණ්ඩායමේ ප්‍රගතිය පෙන්නුම් කරන්නට සමත් වුණා.

සුදුසුකම් ලැබීමේ තරග දෙස බලන විට, තරග වාරයේ මුල් භාගයේ Pole position එක හිමිකරගත් Mercedes ධාවකයන්ට වඩා තත්පර 0.442ක් පසුපසින් සිටි Ferrari රථ, පසුගිය තරග කිහිපයේදී එය තත්පර 0.204 දක්වා අඩුකර ගැනීමට සමත් වී තිබෙනවා.

Ferrari රථවල එන්ජින් බලය තවමත් Mercedes රථවලට වඩා තරමක් පසුපසින් පවතින අතර, ඉදිරි තරග සඳහා නව එන්ජින් යාවත්කාලීන කිරීම් රැගෙන ඒමට කණ්ඩායම කටයුතු කරමින් සිටිනවා.

කණ්ඩායමේ ප්‍රධාන ධාවකයෙකු වන Lewis Hamilton පවසන්නේ ඍජු මාර්ගවල එන්ජින් බලයේ යම් අඩුවක් තිබියදීත් මෙවැනි දක්ෂතාවයක් දැක්වීම අගය කළ යුතු බවයි.

තරග වාරයේ දෙවැනි අර්ධයේදී තමන් තවත් ප්‍රබල ලෙස තරගයට පිවිසෙන බවත්, කණ්ඩායම ගෙන එන නව යාවත්කාලීන කිරීම් සමගින් Mercedes අභියෝගය මැඩපැවැත්විය හැකි බවත් ඔහු විශ්වාසය පළ කරනවා.

Charles Leclerc පෙන්වා දෙන්නේ මෙවර තරග වාරයේදී මෝටර් රථ සඳහා සිදුකරන යාවත්කාලීන කිරීම් තරගයේ තීරණාත්මක සාධකය බවයි.

McLaren කණ්ඩායමද ප්‍රබල ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින පසුබිමක, Ferrari කණ්ඩායම දිගටම සිය රථයේ තාක්ෂණික දියුණුව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ඉදිරියට තවත් තරග 10කට වඩා පැවැත්වීමට නියමිත බැවින් Ferrari කණ්ඩායමට මෙවර Formula ලෝක ශූරතාවලියේ වෙනසක් සිදුකිරීමට හැකිවේවි ද ?

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!