Aston Martin කණ්ඩායමේ B-spec විප්ලවය සාර්ථකද ?

Jul 24, 2026 11:08 pm (3 months ago)
Aston Martin කණ්ඩායමේ B-spec විප්ලවය සාර්ථකද ?
Photo Courtesy - Getty Images

2026 Formula 1 තරග වාරයේ හංගේරියානු ග්‍රෝන් ප්‍රී අදියර වෙනුවෙන් Aston Martin කණ්ඩායම තම රථය සඳහා දැවැන්ත තාක්ෂණික වෙනස්කම් සහ උපාංග 16 කින් සමන්විත ප්‍රබල යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා.

මෙම වෙනස්කම් සමගින් අද දිනයේදී පැවති පළමු පුහුණු සැසියේදී 13වන හොදම කාලය වාර්තා කිරීමට හිටපු ලෝක ශූර Fernando Alonso සමත්වුණා.

වෙනස්කම් සමගින් අලුත් වූ මෙය B-spec රථයක් ලෙස හඳුන්වන අතර, F1 කාර්මික විශේෂඥ ගැරී ඇන්ඩර්සන් විසින් මෙම නව රථයේ ඇති තාක්ෂණික වෙනස්කම් සහ එහි සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

තරග වාරයේ ආරම්භයේ සිටම Aston Martin රථයේ පැවැති ප්‍රධානතම ගැටලුවක් වූයේ එහි අධික බරයි. අමතර බර මගින් තිරිංග යෙදීම, වේගයෙන් වංගු ගැනීම සහ ටයර් ගෙවී යාම කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

මෙම B-spec යාවත්කාලීනයේ ප්‍රධානතම ඉලක්කය වී ඇත්තේ මෝටර් රථයේ බර සැලකිය යුතු ලෙස අඩු කිරීමයි.

එමෙන්ම Front Wing එකෙහි සැකසුම ද සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කොට තිබෙනවා. මෙහි Wings වල දිග සහ අනුපාතයන් වෙනස් කර ඇති නිසාවෙන් රථයට ලැබෙන වායු ප්‍රවාහය වඩාත් ඒකාකාරී කරගැනීමට අපේක්ෂා කෙරෙනවා.

මෙය වෙනත් රථයක් පිටුපසින් ගමන් කිරීමේදී ඇතිවන වායු කැළඹිලි හමුවේ රථයේ ස්ථායීතාව රැක ගැනීමට උපකාරී වනවා.

රථයේ Sidepods වල තිබෙන වායු පිවිසුම් මාර්ග කුඩා කර, වඩාත් තියුණු මෝස්තරයකට සකසා තිබෙනවා. එමගින් රථය යටින් දිවෙන වායු ප්‍රවාහය ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒමට සහ Double Floor සංකල්පය වඩාත් සාර්ථක ලෙස භාවිත කිරීමට ඉඩ සලසා තිබෙනවා.

රථයේ පසුපස කොටසෙහි Aerodynamics වැඩිදියුණු කර ඇත්තේ Diffuser එක දෙසට ගමන් කරන වායු ප්‍රවාහය උපරිම කිරීම සඳහායි.

Rear Wing වල හැඩයන් වෙනස් කර ඇති අතර, එමගින් ඍජු මර්ගවලදී වේගය සහ වංගු වලදී downforce එක වැඩි කරමින් රථයේ වේගය සහ පාලනය කිරීම පහසු කොට තිබෙනවා.

Rear Suspension එක සවිකර ඇති ස්ථාන වෙනස් කරමින් ඒවා ඉහළට ගෙන ගොස් තිබෙනවා. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ අධික වේගයේදී සහ අඩු වේගයේදී ටයර්වල Camber වෙනස්වීම් පාලනය කිරීමයි.

නමුත් සස්පෙන්ෂන් කොටස් ඉහළින් සවිකිරීම නිසා ඇතිවන නැමෙන සුලු ස්වභාවය අවම කිරීමට, Wing Pillars අතරට අමතර තිරස් ලෝහ පටියක් එකතු කිරීමටද ඔවුන්ට සිදු වී තිබෙනවා.

රථයේ බර අඩු කර ගැනීමෙන්ම පමණක් Aston Martin කණ්ඩායමට යම් කාලයක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බව අද දිනයේ ඔවුන්ගේ දස්කම් දෙස බලන විට පෙනී යනවා.

B-spec රථයක් වුවද, ජනවාරි මාසයේ බාසිලෝනා හිදී හඳුන්වා දුන් මූලික සංකල්පයට වඩා දැවැන්ත අන්දමේ වෙනසක් මෙහි දක්නට නොමැති අතර Front suspension පද්ධතියේ පවා කිසිදු වෙනසක් සිදු කර නැහැ.

සෙසු කණ්ඩායම්ද තරගයෙන් තරගයට යාවත්කාලීන උපක්‍රම භාවිතා කරන බැවින්, Aston Martin කණ්ඩායමට ඉදිරියෙන් සිටන Mercedes හෝ Ferrari වැනි ප්‍රමුඛ කණ්ඩායම් අභිබවා යාමට නම් තවමත් දිගු ගමනක් යා යුතුව තිබෙනවා.

මෙය ඔවුන්ගේ සැලසුමේ පළමු කොටස පමණක් බවත් ඉදිරියේදී තවත් වෙනස්කම් සිදුකිරීමට නියමිත බවත් Formula 1 ලෝකය තුළ බිහිවූ විශිෂ්ටතම නිර්මාණකරුවෙකු වන Adrian Newey පවසා තිබෙනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!