ලෝක ශූරයෙකු කළ භූමියේදීම 400වන තරගයට එක්වන Hamilton.

2008 වසරේ නොවැම්බර් 2 වනදා, Interlagos හි Autódromo José Carlos Pace ධාවන පථය වෙත ඇද හැළුණු අධික වර්ෂාව මධ්‍යයේ, Formula 1 ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු තරග අවසානයක් සිදුවිය.

Nov 6, 2026 07:39 am (5 days ago)
ලෝක ශූරයෙකු කළ භූමියේදීම 400වන තරගයට එක්වන Hamilton.
Photo Courtesy - Scuderia Ferrari HP

තරගයේ අවසන් වටයේ අවසන් වංගුව වෙතට පැමිණෙන තෙක්ම Felipe Massa ගේ නමින් ලෝක ශූරතාවය ලියැවෙනු ඇතැයි බ්‍රසීල ප්‍රේක්ෂකයෝ උද්දාමයට පත්ව සිටියහ.

නමුත් Toyota රථයේ Timo Glock අභිබවා යමින් 5 වන ස්ථානයට පැමිණි McLaren කණ්ඩායමේ Lewis Hamilton, එකම එක ලකුණක වෙනසින් තම ප්‍රථම F1 ලෝක ශූරතාවය තහවුරු කරගන්නට විය

වසර 18 කට පසුව, එම සුවිශේෂී Interlagos ධාවන පථයම 41 හැවිරිදි Hamilton ගේ වෘත්තීය ජීවිතයේ තවත් ඓතිහාසික කඩඉමකට වේදිකාව නිර්මාණය කොට ඇත.

2026 São Paulo Grand Prix තරගයේදී Ferrari කණ්ඩායමේ Lewis Hamilton තම 400 වන Formula 1 තරග ආරම්භය සටහන් කිරීමට සූදානම් වෙයි.

F1 ඉතිහාසයේ මෙම කඩඉම පසුකළ එකම අනෙක් ක්‍රීඩකයා වන්නේ ඔහුගේ පැරණි ප්‍රතිවාදියා වන Fernando Alonso පමණි.

2007 Australian Grand Prix තරගයෙන් McLaren හරහා සිය F1 ආරම්භය සටහන් කළ Hamilton, එතැන් පටන් 2026 São Paulo Grand Prix දක්වා තරග 399 කට සහභාගී විය.

2020 Sakhir Grand Prix තරගය COVID-19 ආසාදනය වීම නිසා මගහැරුණු එකම අවස්ථාව හැරුණු විට, ඔහු සහභාගී වූ සෑම Grand Prix තරගයකදීම තරගය ආරම්භ කිරීමට සමත් වීම විශේෂත්වයකි.

ඔහුගේ මෙම අග්‍රගණ්‍ය ගමනේ සන්ධිස්ථාන දෙස බලන විට, 2007 වසරේ ඕස්ට්‍රේලියානු ග්‍රෝන් ප්‍රී තරගයෙන් සිය මංගල ආරම්භය සටහන් කරමින් තෙවන ස්ථානය දිනා Podiums මතට පිවිසි ඔහු, එතැන් සිට 2008 බ්‍රසීල ග්‍රෑන්ඩ් ප්‍රී තරගයේදී තම 35 වන තරගය සමඟින් ප්‍රථම F1 ලෝක ශූරතාවය හිමිකර ගත්තේය.

ඉන් අනතුරුව, 2013 ඔස්ට්‍රේලියානු ග්‍රෝන් ප්‍රී තරගයෙහිදී 111 වන තරගය ලෙස Mercedes කණ්ඩායම සමඟ නව පරිච්ඡේදයක් ආරම්භ කළ අතර, 2014 අබුඩාබි ග්‍රෝන් ප්‍රී තරගයේදී සිය දෙවන ලෝක ශූරතාවය ස්ථිර කරගත්තේය.

මෑතකදී, මෙක්සිකෝ ග්‍රෝන් ප්‍රී හිදී 399 වන තරගයර් සහභාගී වූ Hamilton, Pole Position එකක් දිනාගනිමින් 2 වන ස්ථානය ලබාගත් ඔහු, දැන් බ්‍රසීලයේදී සිය 400 වන තරග ආරම්භය කරා පා තබන්නට සූදානම් වෙයි.

ලෝක ශූරතාවලී 7 ක් දිනාගනිමින් Michael Schumacher තැබූ ලෝක වාර්තාව හා සම සමව සිටින Lewis Hamilton, Formula 1 ඉතිහාසයේ සංඛ්‍යාලේඛන රැසක් සිය නමින් ලියවාගන්නට සමත් විය.

තරග 399 ක් අවසානයේ ඔහු ලබා ඇති ජයග්‍රහණ 106 F1 ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව වන අතර, ඔහු ලබා ඇති Pole Positions 105 ද ඉතිහාසයේ වැඩිම අගය ලෙස සටහන් වෙයි.

එමෙන්ම Podiums 209 ක් දිනාගනිමින් F1 ඉතිහාසයේ වැඩිම වතාවක් ජයග්‍රාහී වේදිකාවට නැඟි රියදුරා බවට පත්ව සිටින Hamilton, ග්‍රෝන් ප්‍රී තරග 70 කදී තරගයේ වේගවත්ම වටය වාර්තා කරන්නට සමත් විය.

සමස්ත වෘත්තීය ජීවිතය තුළ ලකුණු 5,277.5 කට වඩා රැස්කර ඇති Hamilton, F1 ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ධාවකයා ලෙසද සිය නාමය රන් අකුරෙන් සටහන් කරන්නට විය.

"මගේ 300 වන තරගයට පෙර හැමෝම කිව්වේ තරග 300 පසුකළ පසු ජයග්‍රහණය කළ නොහැකි බවයි. නමුත් මම මගේ 400 වන තරගයේදී ජයග්‍රහණය ඉලක්ක කරගෙන කටයුතු කරනවා."

අටවන ලෝක ශූරතාවය හඹා යන Lewis Hamilton තම ප්‍රථම ලෝක ශූරතාවය දිනාගත් බ්‍රසීල භූමියේදීම 400 වන තරග‍යේ ජය ලබා ගනීවිද ?

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!