සිය මවුබිමේදී Toyota Yaris රථයෙන් අණසක පැතිරූ Sami Pajari

World Rally Championship තරගාවලියේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවති ඓතිහාසික ෆින්ලන්ත Rally තරගාවලියේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගැනීමට ෆින්ලන්ත රියැදුරු Sami Pajari සමත් වුණා.

Aug 2, 2026 09:23 pm (2 months ago)
ToyotaWRC
සිය මවුබිමේදී Toyota Yaris රථයෙන් අණසක පැතිරූ Sami Pajari
World Rally Championship තරගාවලියේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින් පැවති ඓතිහාසික ෆින්ලන්ත Rally තරගාවලියේ සමස්ත ජයග්‍රහණය හිමිකර ගැනීමට ෆින්ලන්ත රියැදුරු Sami Pajari සමත් වුණා.

මීට සති දෙකකට පෙර Rally Estonia හිදී තමන්ගේ මංගල WRC ජයග්‍රහණය වාර්තා කළ 24 හැවිරිදි Pajari, Toyota Gazoo Racing කණ්ඩායමේ GR Yaris Rally1 රථයෙන් තම මවුබිමේදී දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාවයත් සමඟ පිට පිටම WRC තරගාවලි දෙකක් ජයගත් රියැදුරෙකු ලෙස මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයට එක් වුණා.

සිය සහායක රියැදුරු Marko Salminen සමඟින් අතිශය අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ පවා පරිණත තරග රටාවක නිරත වූ Pajari, ෆින්ලන්ත Rally තරගාවලියක් ජයගත් 14 වන ෆින්ලන්ත ජාතික රියැදුරා බවටද පත්වුණා.

May be an image of crowd and text

මෙවර Rally Finland තරගාවලිය අතිශයින්ම අනපේක්ෂිත සිදුවීම්වලින් පිරි එකක් බවට පත්වූයේ ෆින්ලන්තයේ අධිවේගී Gravel මාර්ග සහ සිකුරාදා දින ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙනි.

තරගාවලියට එක්වූ ප්‍රධාන Rally1 කාණ්ඩයේ රථ 11 න් 6 ක්ම නොසිතූ මොහොතක අනතුරුවලට ලක්වූ අතර, ශූරතාවලියේ ඉදිරියෙන්ම සිටි ප්‍රබල රියැදුරන් රැසකටම මෙහිදී විශාල පසුබෑමකට ලක්වීමට සිදු වුණා.

සිකුරාදා වර්ෂාව මධ්‍යයේ ඉහළ දක්ෂතාවයක් දක්වමින් තරගයේ පෙරමුණ ගැනීමට නවවතාවක් ලෝක ශූරතාව දිනූ Sebastien Ogier සමත් වුණා.

එහෙත් සෙනසුරාදා පැවැති Stage 17 හිදී Ogier ගේ රථය අධික වේගයෙන් පෙරළී දරුණු අනතුරකට ලක්වීමත් සමඟ තරගයේ පෙරමුණ Pajari වෙත හිමි වුණා.

අනතුරට ලක්වූ Ogier සහ ඔහුගේ සහායක Julien Ingrassia වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කළද ඔවුන්ට බරපතල හානියක් සිදු වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඊට අමතරව ශූරතාවලියේ ලකුණු සටහනේ පෙරමුණේ පසුවන Elfyn Evans ද සිය GR Yaris රථය පාලනය කරගත නොහැකිව පෙරළීම හමුවේ ඔහුටද මිනිත්තුවකට වඩා වැඩි කාලයක් අහිමි වුණා.

තරගයේ අවසන් දිනය වූ ඉරිදා දින පැවැති කිලෝමීටර 30 කින් සමන්විත Himos-Jamsa අදියරයන්හිදී තත්පර 26.7 ක පැහැදිලි පරතරයක් සහිතව ජයග්‍රහණය තහවුරු කරගැනීමට Pajari සමත් වුණා.

තරගයේ දෙවන ස්ථානය Toyota කණ්ඩායමේම Oliver Solberg හිමිකර ගත් අතර, ඔහු ඉරිදා දිනයේදී දැඩි පිටකොන්දේ වේදනාවක් මධ්‍යයේ දැක්වූ දක්ෂතාවය විචාරකයන්ගේද පැසසුමට ලක්වුණා.

සෙනසුරාදා සිදුවූ අනතුරෙන් පසුව නැවතත් සාර්ථක ලෙස තරගයට අවතීර්ණ වූ Elfyn Evans තෙවන ස්ථානය දිනාගැනීමට සමත් වුණා.

Hyundai කණ්ඩායමේ Adrien Fourmaux සිව්වන ස්ථානයට දිනාගත් අතර, තරගයේ ආරම්භක අදියරේදී අනතුරකට ලක්වූ Thierry Neuville පස්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමඟ WRC Drivers' Championship ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට Sami Pajari සමත් වූ ඇති අතර, දැනට සටහනේ පෙරමුණේ පසුවන Elfyn Evans ට වඩා ඔහු පසුපසින් සිටින්නේ ලකුණු 30 ක් පමණි.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!