Toyota Corolla Hybrid පිටුපස සැඟවුණු වසර 150 ක රහස

Aug 11, 2026 09:43 am (1 months ago)
ToyotaTechnical
Toyota Corolla Hybrid පිටුපස සැඟවුණු වසර 150 ක රහස

නූතන මෝටර් රථ ලෝකයේ වඩාත්ම ජනප්‍රිය Hybrid මෝටර් රථයක් වන Toyota Corolla Hybrid රථයෙහි තාක්ෂණය දෙස බලන ඕනෑම අයෙකුට එය පෙනී යන්නේ අතිනවීන තාක්ෂණයෙන් සමන්විත වාහනයක් ලෙසයි.

නමුත්, මෙම රථයේ හදවත බඳු අභ්‍යන්තර දහන එන්ජිම ක්‍රියාත්මක වන්නේ අදින් වසර 150 කට පමණ පෙර, එනම් 19 වන සියවසේදී සොයාගත් මූලධර්මයන් මත පදනම්වයි.

මේ අද්විතීය ඉතිහාසයේ ආරම්භය සනිටුහන් වන්නේ 1876 වසරේදීය. ජර්මානු ජාතික ඉංජිනේරු Nicolaus August Otto විසින් ප්‍රායෝගිකව භාවිත කළ හැකි ප්‍රථම Four-stroke අභ්‍යන්තර දහන එන්ජිම ලොවට හඳුන්වා දෙන්නට විය.

ඉන්ධන සහ වායු මිශ්‍රණය එන්ජිම තුළට ගැනීම, එය සම්පීඩනය කිරීම, ඉන්ධන දහනය කර පිස්ටනය පහළට තල්ලු කරමින් බලය නිපදවීම සහ දැවුණු වායුව එළියට නිකුත් කිරීම යන මූලික පියවර හතර Ottoගේ එන්ජිම තුළ සිදු විය.

පසුකාලීනව 1885 දී Karl Benz විසින් මෙම Otto එන්ජිම රෝද සහිත රාමුවකට සවිකර ලොව ප්‍රථම මෝටර් රථය නිර්මාණය කළ අතර, අද වන විට ලොව පුරා ධාවනය වන බිලියනයකට අධික වාහන ප්‍රමාණයකට පදනම වූයේද මෙම සංකල්පයයි.

Ottoගේ සොයාගැනීමෙන් වසර කිහිපයකට පසු, එනම් 1882 දී බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරු James Atkinson විසින් එන්ජින් තාක්ෂණය තවත් ඉදිරියට ගෙන යාමට සමත් විය.

සාම්ප්‍රදායික Otto එන්ජිමක සම්පීඩන පහර සහ බල පහර එක සමාන දුරක් ගමන් කළද, Atkinson විසින් විශේෂ යාන්ත්‍රික සම්බන්ධතාවයක් භාවිත කරමින්, සම්පීඩන පහරට වඩා බල පහර දිගු වන ලෙස එන්ජිම නිර්මාණය කරන්නට විය.

දහනය වන වායුවෙන් උපරිම ශක්තියක් ලබා ගැනීමට හැකි වූ අතර ඉන්ධන කාර්යක්ෂමතාවද ඉහළ මට්ටමකට ළගා කරගැනීමට මෙමගින් හැකිවිය.

නමුත් මෙහි තිබූ ප්‍රධානම දුර්වලතාවය වූයේ අඩු RPM අගයන් වලදී එන්ජිමේ Torque එක සහ ත්වරණය සාපේක්ෂව අඩු වීමයි. එම නිසා සාමාන්‍ය වාහන සඳහා මෙම එන්ජින් භාවිත කිරීම අභියෝගයක් විය.

Toyota සමාගම Atkinsonගේ මෙම පැරණි සංකල්පය නූතන එන්ජින් සඳහා යොදාගත්තද එහි පැරණි සංකීර්ණ යාන්ත්‍රික ක්‍රමවේදයන් භාවිතය සීමා කෙරිණි.

ඒ වෙනුවට, Variable Valve Timing තාක්ෂණය භාවිත කරමින්, සම්පීඩන පහරේ මුල් කොටසේදී Intake Valve එක මද වේලාවක් විවෘතව තැබීමට සැලැස්වීය. එමගින් Atkinson Cycle එකෙහි වාසිය එලෙසින්ම ලබා ගැනීමට Toyota ඉංජිනේරුවන්ට හැකි විය.

Atkinson එන්ජිමක ඇති එකම අඩුව වූ අඩු වේගවලදී ඇති වන අඩු ව්‍යාවර්තය, Hybrid පද්ධතියේ ඇති විදුලි මෝටරය මගින් මැනවින් සම්පූර්ණ විය.

මෝටර් රථය පණ ගැන්වීමේදී සහ නගරවල තදබදය අතරතුරදී විදුලි මෝටරයෙන් අවශ්‍ය බලය ලබා දෙන අතර, එන්ජිම වඩාත්ම කාර්යක්ෂම වන වේග පරාසයන්හිදී පමණක් පෙට්‍රල් එන්ජිම ක්‍රියාත්මක විය.

මෙම අතිවිශිෂ්ට සංකලනය ප්‍රථම වරට 1997 දී Toyota Prius රථය හරහා ලොවට පැමිණි අතර, අද වන විට එය 5 වන පරම්පරාවේ Hybrid පද්ධතිය දක්වා වර්ධනය විය.

නවතම Toyota Corolla Hybrid රථයේ ඇති ලීටර් 1.8ක Atkinson එන්ජිම සහ මෝටර් පද්ධතිය එක්ව අශ්ව බල 138 ක් ජනනය කරයි.

නාගරික මං මාවත් වලදී ලීටරයකට කිලෝමීටර් 22.5ක් දක්වා ඉහළ ඉන්ධන පිරිමැසුමක් ලබා දෙන අතරම, පිටුපස රෝද සඳහා වෙනම මෝටරයක් යොදාගනිමින් All-Wheel Drive පහසුකමින් ද සමන්විතයි.

වසර 150 කට පෙර කාර්මික විප්ලවය සමයේ ආරම්භ වූ එන්ජින් තාක්ෂණය, අද වන විට විද්‍යුත් ශක්තිය සහ ඉලෙක්ට්‍රොනික පාලනයන් සමග මුසු වී, ලොව අතිශය සාර්ථක සහ කාර්යක්ෂම මෝටර් රථයක් නිර්මාණය කිරීමේ අඩිතාලම බවට පත් විය.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!