ජර්මානු ඉංජිනේරු විද්‍යාවේ Over-Engineered උත්කෘෂ්ටය

Jul 21, 2026 08:05 am (3 months ago)
ජර්මානු ඉංජිනේරු විද්‍යාවේ Over-Engineered උත්කෘෂ්ටය
Photo Courtesy - Mercedes

මෝටර් රථ ඉතිහාසය දෙස හැරී බැලීමේදී ඇතැම් මෝටර් රථ හඳුන්වනු ලබන්නේ කිසිදු පිරිවැය සීමාවකින් තොරව ඉංජිනේරු ශිල්පය ලොවටම ප්‍රදර්ශනය කිරීම සඳහා නිපදවූ නිමැවුම් ලෙසයි.

1991 දී ජර්මනියේ Stuttgart නුවරින් බිහිවුණ Mercedes-Benz සමාගමේ W140 S-Class මාදිලිය ඉන් ප්‍රධානතම එකක් ලෙස ප්‍රචලිතයි.

එම සන්නාමයේ ප්‍රමුඛතම මෝටර් රථය වූ Mercedes-Benz 600 SEL ‍රථය, ජර්මානු මෝටර් රථ ක්ෂේත්‍රය තුළ අදටත් Over-engineered ලෙස සැලසුම් කළ උත්කෘෂ්ටතම මෝටර් රථයයි.

පිරිවැය සීමාවන් නොසලකා, ලොව සුඛෝපභෝගී සහ තාක්ෂණික අතින් දියුණුම රථය නිර්මාණය කිරීමේ අරමුණින් බිහිවූ මෙම රථය පිළිබදව Speedmania ගෙන එන සටහනකි මේ....

මෙම 600 SEL රථයේ ප්‍රධානතම තාක්ෂණික අනන්‍යතාව රැඳී තිබුණේ එහි ඉදිරිපස Bonnet එක යට වැතිර තිබූ M120 එන්ජිම තුළයි.

මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව Mercedes-Benz සමාගම විසින් මෝටර් රථයක් සඳහා නිපදවූ ප්‍රථම V12 මගී එන්ජිම වීම සුවිශේෂී කරුණකි.

5,987 cc ධාරිතාවකින් යුක්ත වූ මෙම දැවැන්ත 60° V12 එන්ජිම, සිලින්ඩරයකට කපාට හතර බැගින් මුළු කපාට 48 කින් සමන්විත Double Overhead Camshaft ව්‍යුහයකි.

Engine block එක සහ Cylinder head එක සම්පූර්ණයෙන්ම ඇලුමිනියම් වලින් නිමවා තිබූ අතර, සිලින්ඩර බිත්තිවල ඝර්ෂණ අවම කර කල්පැවැත්ම ඉහළ නැංවීම සඳහා සිලිකන් සහ අලුමිනියම් මිශ්‍ර ලෝහ ආස්තරණයක් භාවිත කර තිබුණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම එන්ජිම මගින් අශ්වබල 402 ක දැවැන්ත බලයක් සහ 580 Nm ක උපරිම ව්‍යාවර්තයක් 3800 RPM හිදී මුදා හැර ඇත.

මෙම එන්ජිම සතුව එවකට අතිශය දියුණු LH-Jetronic ඉලෙක්ට්‍රොනික ඉන්ධන විදීම් පද්ධතියක් තිබූ අතර, එහි ඇති සුවිශේෂීම ඉංජිනේරුමය ලක්ෂණය වූයේ එන්ජිමේ ඇති වම් සහ දකුණු Cylinder Banks දෙක එකිනෙකින් ස්වාධීනව පාලනය වන Engine Control Unit දෙකක් මගින් ක්‍රියාත්මක වීමයි.

එනම්, මෙය එකට බද්ධ කරන ලද ලීටර 3.0 Inline-6 එන්ජින් දෙකක් ලෙසද හැඳින්විය හැකිය.

අඩු වේගවලදී වැඩි ව්‍යාවර්ථයක් සහ ඉහළ වේගවලදී අවම වායු විමෝචනයක් ලබා ගැනීම සඳහා Intake Camshafts හි Electro-Hydraulic Variable Valve Timing පද්ධතියක් ද මීට ඇතුළත් විය.

මෙම එන්ජිමේ ඇති ඉංජිනේරු විශිෂ්ටත්වය කෙතරම්ද යත්, පසුකාලීනව ලොව සුප්‍රසිද්ධ Pagani Zonda සුපිරි මෝටර් රථය සදහාද පදනම් කරගත්තේ මෙම M120 V12 එන්ජින් ව්‍යුහයයි.

W140 600 SEL රථය හුදෙක් යාන්ත්‍රික නිර්මාණයක් පමණක් නොව එය මෝටර් රථ ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කළ සන්ධිස්ථානයකි.

වාහනය පුරා විසිරී තිබූ සිය ගණනක් වූ ඉලෙක්ට්‍රොනික Sensors සහ Control Modules එකිනෙක සන්නිවේදනය කිරීම සඳහා Bosch සමාගම නිපදවූ CAN-Bus තාක්ෂණය ලොව ප්‍රථම වරට මෝටර් රථයකට බද්ධ කිරීමට Mercedes-Benz ට හැකිවිය.

මෙමගින් ABS, Traction Control (ASR) සහ Engine Management පද්ධති එකිනෙක සමඟ මිලිතත්පර ගණනකින් දත්ත හුවමාරු කරගත් අතර, රථයේ ආරක්ෂාව සහ ස්ථායීතාව උපරිම මට්ටමකට ඔසවා තැබීමට එය සමත් විය.

වාහනයේ සුවපහසුව සම්බන්ධයෙන් ගත් කල, එවකට ප්‍රධාන ඉංජිනේරු Wolfgang Peter මහතාට අවශ්‍ය වූයේ මගියා පෘථිවිය මත ගමන් කරන බව පවා අමතක කරවන මට්ටමේ ශබ්දයෙන්, කම්පනයන්ගෙන් සහ රළු බවින් තොර පාලනයක් ලබා දීමටයි.

මෙහි ජනේල සඳහා මිලිමීටර 3 බැගින් වූ ද්විත්ව වීදුරු තට්ටු අතර Air-sealed Vacuum පරතරයක් සහිත Double-Glazed වීදුරු භාවිතා කොට ඇත. එමගින් බාහිර ශබ්ද සහ සූර්ය තාපය රථය තුළට පැමිණීම සම්පූර්ණයෙන්ම වැළැක්වුණි.

එමෙන්ම දොරවල් බාගෙට වැසූ විට, Vacuum pump ආධාරයෙන් ඒවා ස්වයංක්‍රීයවම ඇතුළට ඇද වසා ගන්නා Soft-close Doors තාක්ෂණය සහ රථයේ බර සහ පාරේ තත්ත්වය අනුව ක්ෂණිකව වෙනස් වන Adaptive Damping සහිත Electronic Damping Suspension පද්ධතියකින් 600 SEL රථය සමන්විත විය.

තවද එකල පසුපස කැමරා නොතිබූ බැවින්, පසුපස ගියරය දැමූ විට රියදුරාට රථයේ කෙළවර බලා ගැනීම සඳහා පසුපස Fenders දෙකෙන් කුඩා Chromium rods දෙකක් ස්වයංක්‍රීයව අඟල් දෙකක් පමණ ඉහළට මතු වීම වැනි විශ්මයජනක ඉංජිනේරුමය නිර්මාණ රැසක් මීට ඇතුළත් විය.

W140 600 SEL යනු ටොන් 2.2 කට වඩා බරැති සුඛෝපභෝගී ලිමොසින් රථයක් වූ බැවින් එය සෘජුවම ධාවන පථ වල තරග වැදුණේ නැත.

නමුත් එහි ඇති M120 V12 එන්ජිම සහ W140 චැසිය, මෝටර් රථ ක්‍රීඩා ලෝකයේ සුවිශේෂී සලකුණු තබා ඇත.

Mercedes-Benz සමාගමේ නිල දියුණු කිරීම් අංශය වූ AMG සමාගම විසින් මෙම ලීටර 6.0L/6.9L M120 V12 එන්ජිම උපයෝගී කරගනිමින් Mercedes-Benz CLK GTR රේසිං රථය නිර්මාණය කරන්නට විය.

එය 1997 සහ 1998 වසරවල FIA GT Championship තරඟ බිම සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කිරීමට සමත් විය.

W140 ව්‍යාපෘතිය සඳහා Mercedes-Benz සමාගම එවකට ඇමරිකානු ඩොලර් බිලියන එකකට වඩා වියදම් කළ බව පැවසෙයි.

එහි පිරිවැය සහ තාක්ෂණික සැලසුම් සීමා ඉක්මවා යාම නිසා එවකට ප්‍රධාන ඉංජිනේරු Wolfgang Peter මහතාට සිය තනතුර පවා අහිමි වූ බව මෝටර් රථ ඉතිහාසයේ සඳහන්ය.

නමුත් Mercedes-Benz 600 SEL රථය මෝටර් රථ ක්ෂේත්‍රය තුළ පිරිවැය දෙස නොබලා ඉංජිනේරුවන්ට නිදහසේ උපරිම තාක්ෂණය යොදා වාහනයක් හැදීමට දුන් අවසාන අවස්ථාවයි. එය අදටත් මෝටර් රථ ඉංජිනේරු විද්‍යාවේ රන් සලකුණක් ලෙස නොසැලී පවතී.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!