WRC කිරුළෙන් උපන් ජපන් ඉංජිනේරු පුරාවෘත්තය

මෝටර් රථ ඉතිහාසය දෙස බලන විට, සැබෑ ධාවන පථ මෝටර් රථයක තාක්ෂණික පදනම කිසිදු වෙනසකින් තොරව සාමාන්‍ය මාර්ග භාවිතය සඳහා නිකුත් කෙරුණු අවස්ථා ඇත්තේ ඉතා අතලොස්සක් පමණි.

Jul 24, 2026 11:14 am (3 months ago)
WRC කිරුළෙන් උපන් ජපන් ඉංජිනේරු පුරාවෘත්තය
Photo Courtesy - Reddit

1998 වසරේදී Subaru Tecnica International ආයතනය මගින් ලොවට හඳුන්වා දුන් Subaru Impreza 22B STi රථය යනු එම මෝටර් රථ ඉංජිනේරු විශ්මයේ පරිපූර්ණ නිරූපණයකි.

Subaru සමාගමේ 40 වන සංවත්සරය මෙන්ම, 1995 සිට 1997 දක්වා ලෝක රැලි ශූරතාවලියේ නිෂ්පාදකයින්ගේ ශූරතාව පිට පිට තෙවරක් දිනාගැනීමේ ඓතිහාසික ජයග්‍රහණය සැමරීම උදෙසා මෙම විශේෂිත මාදිලිය නිර්මාණය කෙරිණි.

මෙම රථයේ උපත සෘජුවම බැඳී පවතින්නේ WRC රැලි ධාවන පථ සමඟයි. 1997 වසරේදී ජාත්‍යන්තර මෝටර් රථ සම්මේලන විසින් WRC තරගාවලිය සඳහා නව World Rally Car නීති මාලාවක් හඳුන්වා දෙන්නට විය.

Subaru සමාගම සිය බ්‍රිතාන්‍ය මෝටර් රථ ඉංජිනේරු සහකරු වන Prodrive ආයතනය සහ ප්‍රකට මෝටර් රථ සැලසුම්කරුවෙකු වූ Peter Stevens සමඟ එක්ව Impreza WRC97 මෝටර් රථය නිර්මාණය කරන්නේ ඊට අනුකූලවන අයුරිනි.

22B STi මෝටර් රථය සාමාන්‍ය වීථියට පිවිසෙන්නේ කොලින් මැක්‍රේ සහ කාර්ලෝස් සයින්ස් වැනි ජාත්‍යන්තර ධාවකයින් අතින් ජයග්‍රහණය ලැබූ එම මෝටර් රථයේ නියම පිටපතක් ලෙසිනි.

22B රථයේ තාක්ෂණික හදවත ලෙස ක්‍රියා කරන්නේ විශේෂයෙන් සංවර්ධනය කරන ලද EJ22G මාදිලියේ එන්ජිමයි.

සාමාන්‍ය Impreza STi මාදිලිවල භාවිත වූ ලීටර් 2.0හි එන්ජිම වෙනුවට, ලීටර් 2.2 ක ධාරිතාවයකින් යුත් Turbocharged, 4-Cylinder Boxer එන්ජිමක් මෙම රථයෙහි යොදා ගැනුණි.

මෙහි Bore ප්‍රමාණය මිලිමීටර් 96.9 දක්වා වැඩි කර Stroke ප්‍රමාණය මිලිමීටර් 75.0 ලෙස පවත්වා ගනිමින් වඩාත් කාර්යක්ෂම Closed-deck Block එකක් නිර්මාණය කරන්නට ඉන්ජිනේරුවන් සමත් විය. මෙයින් අධික සිලින්ඩර පීඩනයන් දරා ගැනීමේ හැකියාව ලැබුණි.

එකල ජපානයේ පැවති එකඟතාවන්ට අනුව නිල වශයෙන් මෙහි උපරිම බලය අශ්වබල 276 ක් ලෙස සඳහන් කළද, IHI VF22 Turbocharger එක සහ Top-mounted Intercooler පද්ධතිය මගින් ලබා දුන් පීඩනය හමුවේ සැබෑ ලෙසම මෙහි බලය අශ්වබල 300 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

මෙම රථයේ චැසිය දෙස බලන විට, Peter Stevens විසින් නිර්මාණය කරන ලද Blister Fenders මගින් රථයේ බාහිර පළල සාමාන්‍ය මාදිලියකට වඩා මිලිමීටර් 80 කින් වැඩි කොට තිබුණි.

මෙමගින් රථයට ලැබුණු පුළුල් Wheel Track එක සහ WRC-spec Aero-wing එක මගින් ඉහළ වේගයන්හිදී විශාල Downforce එකක් සහ ස්ථාවරත්වයක් ලබා දෙන්නට විය.

ධාවන පද්ධතිය පාලනය සඳහා ජර්මානු Bilstein Inverted Dampers සහ Eibach Springs සංයෝජනයක් යොදාගත් අතර, BBS අඟල් 17 Forged Alloy wheels සහ 4-piston Front Brake Callipers මගින් තිරිංග කාර්යක්ෂමතාව ඉහළ නංවා තිබුණි.

Vehicle Dynamics අතින් ගත්කළ 22B හි තිබූ ප්‍රධානතම තාක්ෂණික මෙවලම වූයේ Driver Controlled Center Differential පද්ධතියයි.

මේ මගින් ගමන් කරන මාර්ගයේ ස්වභාවය අනුව Center Differential එක Lock වන ප්‍රමාණය Manual Thumb-wheel එකක් මගින් වෙනස් කිරීමට රියදුරුට හැකියාව ලැබුණු අතර, එමගින් ලිස්සන සුලු හෝ රළු මාර්ගවලදී උපරිම ග්‍රහණයක් ලබා ගැනීමට හැකි විය.

මෙයට සමගාමීව, එන්ජිමේ බලය රෝද වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහා Shot-peening තාක්ෂණයෙන් සවිමත් කළ ගියර් සහ Twin-plate Ceramic-Metal Clutch එකක් සහිත 5-Speed Manual ප්‍රේෂණ පද්ධතියක් ඇතුළත් කර තිබුණි.

තාක්ෂණික කාරණා අතින් එවන් විශිෂ්ටත්වයක් පෙන්නිම් කළ මෙම මෝටර් රථයේ 22Bයන නාමය පිටුපසද අද්විතීය ඉංජිනේරුමය සහ සන්නාම සම්බන්ධ කතා වස්තුවක් පවතී.

22 මගින් ලීටර් 2.2 එන්ජින් ධාරිතාවද, B මගින් Bilstein Suspension පද්ධතියද නිරූපණය වන බවට මූලාශ්‍ර වල සටහන්ව පවතී.

නමුදු Hexadecimal සංඛ්‍යාංක පද්ධතියට අනුව 22B යන්න Decimal අගයකට පරිවර්තනය කළ විට ලැබෙන්නේ 555 අගයයි. එය WRC තරගාවලියේ Subaru කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා වූ 555 සන්නාමය මැනවින් සංකේතවත් කරන්නට විය.

ජපන් ඉංජිනේරු තාක්ෂණය ලෝකයට පෙන්නුම් කළ ද ඉන් නිෂ්පාදනය කොට ඇත්තේ ඒකක 424 ක් පමණි. ජපන් වෙළෙඳ පළ නිකුත් කළ ඒකක 400ම විනාඩි 30 ක් ඇතුළත අලෙවි වී අවසන් වීමෙන් පිළිබිබු වන්නේ මෙම රථයේ ඇති විශිෂ්ටත්වයයි.

Subaru Impreza 22B STi යනු හුදෙක් අතීත මතකයක් පමණක් නොව, WRC තාක්ෂණය පාරිභෝගික මෝටර් රථයකට සාර්ථකව බද්ධ කළ හැකි ආකාරය ලොවට පෙන්වා දුන් ඉංජිනේරුමය සංකේතයකි.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!