ශ්‍රී ලංකාවේ පාරවල් හොල්මන් කළ Roadmaster

ශ්‍රී ලාංකේය යතුරුපැදි වංශකථාව තුළ Roadmaster යන නාමය හුදෙක් යතුරුපැදියක නමක් පමණක්ම නොව, එය අසූව සහ අනූව දශකවල යතුරුපැදි හිමිකරුවන්ගේ අභිමානය නිරූපණය කළ අසමසම සංකේතයකි.

Aug 5, 2026 08:44 am (2 months ago)
HondaTechnical
ශ්‍රී ලංකාවේ පාරවල් හොල්මන් කළ Roadmaster
ශ්‍රී ලාංකේය යතුරුපැදි වංශකථාව තුළ Roadmaster යන නාමය හුදෙක් යතුරුපැදියක නමක් පමණක්ම නොව, එය අසූව සහ අනූව දශකවල යතුරුපැදි හිමිකරුවන්ගේ අභිමානය නිරූපණය කළ අසමසම සංකේතයකි.

ජපානයේ Honda සමාගම විසින් ලොවට දායාද කළ Honda CD200 Roadmaster යනු අදටත් අප රටේ එකසේ ජනප්‍රිය ඉංජිනේරු විශ්මයකි.

Honda CD200 හි උපත දෙස බලන විට එහි පූර්වගාමී ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු පිළිබඳව මෙනෙහි කළ යුතුමය.

ඒ 1960 දශකයේ අගභාගයේදී කරළියට පැමිණි Honda CD175 සහ පසුව මෙරට අතිශය ජනප්‍රිය වූ Honda CD125 Twin හෙවත් Benly යන යතුරුපැදි යුගලයයි.

Honda CD175 1972 – We Sell Classic Bikes

174cc එන්ජිමකින් යුතු වූ CD175 යතුරුපැදිය CD පරම්පරාවේ මූලික අඩිතාලම දැමූ අතර, එහි පැවැත්ම සහ විශ්වාසනීයත්වය ලොව පුරා දැඩි ප්‍රසාදයට ලක්විය.

ඉන්පසුව පැමිණි CD125 මාදිලිය සිලින්ඩර දෙකක එන්ජිමක තිබිය යුතු සුමට බව හමුවේ ලංකාවේ රාජ්‍ය අංශයට මෙන්ම ව්‍යාපාරිකයන්ටද එය සමීප විය.

මෙම CD175 හි තිබූ ශක්තිමත් බව සහ CD125 හි තිබූ කම්පනයෙන් තොර සුමට ධාවන ශෛලිය මුසු කරමින්, වැඩි බලයක් සහ වැඩි සුව පහසුවක් සහිතව 1980 වසරේදී Honda සමාගම CD200 Roadmaster වෙළඳපොළට හඳුන්වා දෙන්නට විය.

Roadmaster CD200 යනු එවකට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් යුතු එන්ජින් තාක්ෂණයකින් සහ කල්පැවැත්මකින් සමන්විත වූ යතුරුපැදියකි.

මෙහි හදවත ලෙස ක්‍රියා කළේ 194cc ධාරිතාවයෙන් යුතු, Air-cooled, සිලින්ඩර දෙකක් සහිත SOHC එන්ජිමයි.

9,000 RPM හිදී ආසන්න වශයෙන් අශ්වබල 16.5 ක උපරිම බලයක් සහ 6,500 RPM හිදී 15Nm ක Torque එකක් නිකුත් කිරීමට මෙම එන්ජිමට හැකි විය.

සිලින්ඩර දෙකෙන් විහිදී ගිය දුම්බට යුගලයෙන් නැගුණු අද්විතීය, ගැඹුරු නාදය එදා මෙන්ම අදටත් Roadmasters යතුරුපැදියක ප්‍රධානතම අනන්‍යතාවයි.

මෙහි ඇති විශේෂත්වය වූයේ සිලින්ඩර දෙකේ ක්‍රියාකාරීත්වය නිසා අධික වේගයකදී පවා එන්ජිමේ Vibration අවම මට්ටමක පැවැතීමයි.

5-Speed Transmission එකක් වෙනුවට පැමිණි Reliable 4-Speed Manual Gearbox එක සහ තනි Keihin Carburetor Setup එක මඟින් ඕනෑම දුෂ්කර මාර්ගයක වුවද පහසුවෙන් ධාවනය කළ හැකිවිය.

මුල් කාලීන CD200 මාදිලි පැමිණියේ 6V විදුලි පද්ධතියකින් සහ යතුරුපැදිය පණගැන්වීමට සිදුවූයේ Kick Starter මගින් වුවද පසුව පැමිණි මාදිලිවල 12V විදුලි පද්ධතියක් සහ Electric Start තාක්ෂණය භාවිත විය.

එමෙන්ම ඉදිරිපස Telescopic Forks සහ පසුපස Twin Shock Absorbers මඟින් ලංකාවේ කඩතොලු සහිත පාරවල්වල දී පවා සුවපහසුව තහවුරු කළ අතර, දූවිලි හා වැලිවලින් ආරක්ෂා වීමට සම්පූර්ණයෙන්ම වසා දැමූ Chain Cover එකතු කර තිබීම එකල ශ්‍රී ලංකාවේ මාර්ග තත්ත්වයන්ට ඉතා කදිමට ගැලපුණි.

කිලෝග්‍රෑම් 135ක් පමණ බරින් යුතු වූ මෙම යතුරුපැදියට ලීටර් 13ක පමණ ඉන්ධන ටැංකියක් හිමි වීමද මෙහි ජනප්‍රියත්වයට හේතුවිය

ශ්‍රී ලංකාව තුළ Honda CD200 යන්ත්‍රයට හිමිවූයේ අනෙකුත් සාමාන්‍ය යතුරුපැදිවලට වඩා බෙහෙවින් වෙනස්, ගෞරවනීය ස්ථානයකි.

80 සහ 90 දශකවලදී මෙරට වතු අධිකාරීවරුන් , ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ පොලිස් නිලධාරීන් අතර මෙම යතුරුපැදිය ප්‍රචලිත විය.

වසර ගණනාවක් එක දිගට ධාවනය කළද එන්ජිමේ පැවැත්ම සහ ශක්තිමත් බව අඩුවූයේ නැත. ඕනෑම කාර්මිකයෙකුට පහසුවෙන් වටහාගත හැකි සරල විදුලි සහ යාන්ත්‍රික පද්ධතිය නිසා නඩත්තු කිරීමද ඉතා පහසු විය.

අද වන විටත් ශ්‍රී ලාංකේය Japanese Classic යතුරුපැදි එකතු කරන්නන් අතර අධික වටිනාකමකින් සහ ඉහළ ඉල්ලුමකින් යුක්ත යතුරුපැදියක් ලෙස CD200 Roadmaster කැපී පෙනේ.

CD125 සහ CD175 මඟින් ඇරඹි එන්ජින් පරම්පරාවේ ඉහළම සාර්ථකත්වය සනිටුහන් කළ Roadmaster, ශ්‍රී ලාංකේය යතුරුපැදි වංශකතාවේ සදාතනික රජු ලෙස සැමදා වැජඹෙනු නොඅනුමානයි.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!