MotoGP ටයර් පසුපස සැගවුණු මිලියන ගණනක රහස

Jul 23, 2026 11:46 am (12 days ago)
MotoGPPirelliTechnical
MotoGP ටයර් පසුපස සැගවුණු මිලියන ගණනක රහස

Photo Courtesy - Getty Images

MotoGP තරග පිලිබදව බොහෝ දෙනෙක් උනන්දු වුණත්, එහි සිදුවන මූල්‍යමය කාරණා බොහොමයක් තවමත් පවතින්නේ අභිරහසක් ලෙසයි.

විශේෂයෙන්ම තරගයකදී අතිශය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරන ටයර් සඳහා යන වියදම සහ ඒ සඳහා මුදල් ගෙවන්නේ කවුරුන්ද යන්න මෙම ලිපිය කියවන ඔබටත් කෙදිනක හෝ සිතෙන්නට ඇතියි.

2027 වසරේ සිට MotoGP හි නිල ටයර් සැපයුම්කරු ලෙස එක්වීමට නියමිත Pirelli සමාගමේ මෝටර් සයිකල් රේසිං අධ්‍යක්ෂ Giorgio Barbier මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

බොහෝ දෙනා සිතන්නේ තරග සංවිධායකයින් විසින් ටයර් නිෂ්පාදකයින්ට මුදල් ගෙවා ටයර් ලබාගන්නා බවයි. නමුත් ඇත්තෙන්ම සිදුවන්නේ අනෙක් පැත්තයි.

F1, Superbike සහ MotoGP වැනි ප්‍රධාන මෝටර් රථ තරගවලදී, තනි ටයර් සැපයුම්කරු බවට පත්වීමට ටයර් නිෂ්පාදන සමාගම විසින් තරග සංවිධායකයින්ට ගාස්තුවක් ගෙවනු ලබනවා.

" උදාහරණයක් ලෙස ටයර් සමාගම සංවිධායකයින්ට යුරෝ මිලියන 6 ක ගාස්තුවක් ගෙවනවා විය හැකියි. නමුත් සමස්ත තරගාවලියටම ටයර් නිෂ්පාදනය කිරීමට ඔවුන්ට යුරෝ මිලියන 36 ක් පමණ වැයවෙනවා. මේ සඳහා යන අනෙකුත් වියදම් සංවිධායකයින් සහ ටයර් සමාගම අතර සිදුවන සාකච්ඡා මත බෙදී යනවා." යනුවෙන් Giorgio Barbier සදහන් කොට තිබෙනවා.

MotoGP වල තත්වය එසේ වුවද Moto2 සහ Moto3 තරගවල තරග වදින කණ්ඩායම් විසින් තමන්ට අවශ්‍ය ටයර් සඳහා මුදල් ගෙවිය යුතුවනවා. Superbike තරගවලදී සිදුවන්නේද මෙයයි.

MotoGP වලදී කණ්ඩායම් විසින් ටයර් සඳහා කිසිදු මුදලක් ගෙවිය යුතු නොවන අතර MotoGP තරගාවලිය සඳහා අවශ්‍ය සියලුම ටයර් නොමිලේ සපයනු ලබනවා. ඒ සඳහා වන පිරිවැය සංවිධායකයින් සහ ටයර් සමාගම අතර ගිවිසුම් හරහා පියවා ගැනීම සිදුවනවා.

නොමිලයේ ලබාදීමට තරම් MotoGP යතුරුපැදි ටයරයක් මිලින් අඩු දැයි මෙය කියවන ඔබට දැන් සිතෙන්නට පුලුවන්. MotoGP සඳහා භාවිතා කරන ටයර් සාමාන්‍ය වෙළඳපොළෙන් මිලදී ගැනීමට හැකියාවක් හිමිවන්නේ නැහැ.

කණ්ඩායම්වලට තනිවම ටයර් මිලදී ගෙන රහසිගතව පරීක්ෂණ පැවැත්වීම වැළැක්වීමට තරග සංවිධායකයින් මෙම දැඩි නීති පනවා තිබෙනවා.

Giorgio Barbier සදහන් කරන ආකාරයට සාමාන්‍යයෙන් වෙළඳපොළේ ඇති ඉහළම මට්ටමේ Pirelli Diablo Superbike පසුපස ටයර් එකක මිල යුරෝ 300 ක් පමණ වනවා.

MotoGP සඳහා භාවිතා කරන Prototype ටයර් නිෂ්පාදනය කරන්නේද මෙම සාමාන්‍ය රේසිං ටයර් සාදන ජර්මනියේ Breuberg හි පිහිටි එකම කර්මාන්තශාලාවේ, එකම යන්ත්‍රසූත්‍ර භාවිතයෙන්, එකම ඉංජිනේරුවන් විසිනි.

වෙනස් වන්නේ ඒ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය සහ සුළු නිෂ්පාදන ක්‍රියාවලීන් කිහිපයක් පමණි.

එබැවින්, MotoGP ටයර් එකක නිෂ්පාදන වියදම, සාමාන්‍ය රේසිං ටයර් එකක මිල සමග සෑදීමේදී විශාල වෙනසක් නොමැති බවත්, යුරෝ සිය ගණනක වෙනසක් පවතින බවත් ඔහු සදහන් කොට තිබෙනවා

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!