පෙරටත් වඩා වැඩි උනන්දුවකින් Yevan 2027 Formula 3

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ශ්‍රී ලංකා නාමය ඔසවා තබන Yevan David, 2027 FIA Formula 3 තරඟ සමය සඳහා ප්‍රකට Van Amersfoort Racing කණ්ඩායම සමඟ ගිවිසුම්ගත වී තිබෙනවා.

Nov 4, 2026 09:13 am (7 days ago)
පෙරටත් වඩා වැඩි උනන්දුවකින් Yevan 2027 Formula 3
Photo Courtesy - Formula 3

බාසිලෝනා හිදී පැවැති Post-season testing සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, Yevan සිය අලුත්ම අත්දැකීම් සහ ඉදිරි බලාපොරොත්තු පිළිබදව අදහස් දක්වා තිබෙනවා.

"මම ගොඩක් උද්යෝගිමත් වෙලා ඉන්නේ. ඇත්තටම මගේ තරඟකාරී ජීවිතයේ ම මම මුහුණ දුන්න වඩාත්ම සම්පූර්ණ සහ සාර්ථක වසරක් විදිහට මේ වසර හඳුන්වන්න පුළුවන්. 2027 දී Van Amersfoort Racing කණ්ඩායම සමඟ ඉදිරියට යන්න ලැබීම ගැන මට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක්."

2027 තරඟ වාරයේදී Jeddah, Montreal සහ Istanbul වැනි නව ධාවන පථයන් වෙත තරඟ කිරීමට ලැබීම ගැනද ඔහු විශේෂ උනන්දුවක් දක්වනවා.

බාසිලෝනාහිදී ලබාගත් පළමු පරීක්ෂණ අත්දැකීමෙන්ම VAR කණ්ඩායමේ පසුබිම සහ කාර්ය මණ්ඩලය සමඟ හොඳ සබඳතාවක් ගොඩනඟා ගැනීමට Yevan ට හැකිවී තිබෙනවා.

ඒ අනුව ඉදිරි තරගවාරය වෙනුවෙන් Yevan ගේ කාර්මික ශිල්පීන් ලෙස ස්කැන්ඩිනේවියානු ජාතික Patrick සහ Thomas ද Race Engineer ලෙස එක්සත් රාජධානියේ Daniel ද කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

ඔවුන් සමඟ වැඩ කිරීම ඉතා පහසු බවත්, මුළු කණ්ඩායම තුළම ධනාත්මක මෙන්ම හොද ශක්තියක් පවතින බවත් Yevan සඳහන් කොට තිබෙනවා.

Formula 3 තරඟාවලියේ ලබාගත් පළමු වසරේ අත්දැකීම් ඉදිරි තරඟ වාරයට විශාල ලෙස උපකාරී වන බව Yevan ගේ විශ්වාසයයි.

"දැන් මම ඊළඟ වසරේදී මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද කියලා හොඳින්ම දන්නවා. පළමු වසරේ වගේ දැන් මම නොදන්නා දෙයකට අත තියන්නේ නෑ,"

2026 වසරේ Silverstone හි පැවැති Sprint Race හිදී 2 වන ස්ථානය දිනාගනිමින් Formula 3 ඉතිහාසයේ Podium ජයක් ලද පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වූ Yevan David, 2027 දී Van Amersfoort Racing කණ්ඩායම හරහා සිය පළමු F3 තරඟ ජයග්‍රහණය කරා ගමන් කිරීමට බලාපොරොත්තු වනවා.

මෝටර් රථ ධාවන පථයේ Formula 1 සිහිනය කරා යන ගමනේදී Yevan David තබන මේ තීරණාත්මක පියවරට Speedmania අපි උණුසුම් සුබපැතුම් එක් කර සිටිනවා.

Log in to like and share this story.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!