F1 ලෝකය ගිනි ගත් Buttonගේ මිලියන ගණනක ගිවිසුම් අර්බුධය

Formula 1 ක්‍රීඩා ඉතිහාසයේ අමතක නොවන මෙන්ම අතිශය ආන්දෝලනාත්මක ගිවිසුම් අර්බුදයක් ලෙස Jenson Button වටා ගොඩනැගුණු සිදුවීම ප්‍රචලිතයි.

Aug 5, 2026 10:36 pm (2 months ago)
F1
F1 ලෝකය ගිනි ගත් Buttonගේ මිලියන ගණනක ගිවිසුම් අර්බුධය
Formula 1 ක්‍රීඩා ඉතිහාසයේ අමතක නොවන මෙන්ම අතිශය ආන්දෝලනාත්මක ගිවිසුම් අර්බුදයක් ලෙස Jenson Button වටා ගොඩනැගුණු සිදුවීම ප්‍රචලිතයි.

2004 අගෝස්තු 5 වන දින Williams කණ්ඩායම විසින් Jenson Button සමඟ 2005 සහ 2006 තරඟ වාර සඳහා ගිවිසුම්ගත වූ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මෙම අර්බුදය ආරම්භ වුණා.

2000 වසරේදී Williams කණ්ඩායම හරහා F1 තරඟ බිමට පිවිසි Button, 2004 වන විට BAR-Honda කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා අතරට පැමිණෙන්නට සමත් වුණා.

BAR කණ්ඩායම විසින් Button ව තවදුරටත් කණ්ඩායමේ තබා ගැනීමට තිබූ කොන්ත්‍රාත් කාලය ඉක්මවා ගොස් තිබූ බැවින් Williams කණ්ඩායමේ ප්‍රධානී Sir Frank Williams විසින් ඔහුව තම කණ්ඩායමට එකතු කර ගැනීමට කටයුතු කළා.

නමුත් BAR කණ්ඩායමේ ප්‍රධානී Dave Richards මෙයට වහාම විරෝධය පළ කරන්නට වුණා. තමන් නියමිත වේලාවට එම කොන්ත්‍රාත් කොන්දේසි සපයා ඇති බවත්, 2005 වසරේදීද Button තරඟ කළ යුත්තේ BAR කණ්ඩායම වෙනුවෙන් බවත් ඔවුන් තරයේම ප්‍රකාශ කළා.

ගැටලුව විසඳීමට සදහා Formula 1 Contract Recognition Board වෙත ද එය යොමු කිරීමට සිදුවුණා. 2004 ඔක්තෝබර් 20 වන දින CRB මණ්ඩලය විසින් තීන්දුව ලබා දෙමින් ප්‍රකාශ කළේ, BAR කණ්ඩායම සමඟ Button හට ඇති ගිවිසුම නීත්‍යානුකූල එකම ගිවිසුම බවයි.

ඒ අනුව 2005 වසරේදී Williams වෙත යාමට Jenson Button හට තිබූ අවස්ථාව අහිමි වූ අතර, ඔහුට BAR කණ්ඩායමේම රැඳී සිටීමට සිදු වුණා.

සිදුවීම එතැනින් අවසන් වූයේ නැහැ. 2006 වසර සඳහා තමන්ට Button සමඟ වලංගු ගිවිසුමක් ඇති බවට Williams කණ්ඩායම ප්‍රකාශ කරන්නට වුණා.

නමුත් 2005 වසර වන විට Williams කණ්ඩායමේ පසුබෑමත්, Honda සමාගම BAR කණ්ඩායම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් නිසා Button හට නැවතත් Williams වෙත යාමට අවශ්‍ය වූයේ නැහැ.

අවසානයේදී Williams කණ්ඩායම සමඟ තිබූ 2006 ගිවිසුමෙන් නිදහස් වීම සඳහා Button හට පවුම් මිලියන 18 කට ආසන්න දැවැන්ත වන්දි මුදලක් ගෙවීමට සිදු වූ බව ද පැවසෙනවා. මෙය Formula 1 ඉතිහාසයේ රියදුරෙකු විසින් ගෙවන ලද ඉහළම වන්දි මුදලක් ලෙස ද සටහන් වී තිබෙනවා.

මෙම දැවැන්ත ගිවිසුම් අර්බුදයෙන් පසුව BAR කණ්ඩායමේම රැඳී සිටීමට Button ගත් තීරණය නිවැරදි බව පසුව ඔප්පු වුණා.

2006 හංගේරියානු ග්‍රෝන් ප්‍රී තරඟයෙන් තම පළමු F1 ජයග්‍රහණය වාර්තා කිරීමට ද ඔහු සමත් වුණා.

තවද, 2009 වසරේදී එම කණ්ඩායමම Brawn GP ලෙස වෙනස් වූ අතර, Button එවර ලෝක F1 ශූරතාවය දිනා ගනිමින් ඉතිහාස ගතවන්නට සමත් වුණා.

Comments (0)

Join the conversation. Login or Register to comment.

No approved comments yet. Be the first to comment!