ඉතිහාසය නැවත ලියූ Kawasaki - Suzuki මහා සංග්‍රාමය
Photo Courtesy - Iconic Motorbike Auction
යතුරුපැදි තරඟාවලි ඉතිහාසයේ 500cc Grand Prix යුගය දෙස අවදානය යොමු කරන විට, බොහෝ දෙනෙකුගේ මතකයට නැඟෙන්නේ Yamaha සහ Honda අතර පැවැති ප්‍රකට සටන්ය.
නමුත්, 1970 දශකයේ මැද භාගයේ පැවැති Two-stroke යතුරුපැදි අතර තරඟකාරිත්වය අද වන විට ඉතිහාස පොත් වලටම පමණක් සීමා වී ඇත.
එදා 500cc GP තරඟාවලිය තුළ පැවැති එම තාක්ෂණික සටන ඉදිරි දශක ගණනාවක් වෙනුවෙන් මූලික පදනම දමන්නට වීය.
මෙම සටන පැවැතියේ අසීමිත වේගය සහ බලය පසුපස හඹාගිය Kawasaki KR750 සහ තාක්ෂණික වශයෙන් ස්ථාවරත්වය පෙරටු කරගත් Suzuki RG500 අතරයි.
1970 දශකයේ මැද භාගය වන විට, Two-stroke එන්ජින් මගින් Four-stroke එන්ජින්වලට වඩා අඩු බරකින් සහ සරල ව්‍යුහයකින් වැඩි බලයක් නිපදවිය හැකි බව තහවුරු වී තිබුණි.
නමුත් ඉංජිනේරුවන්ට පැන නැගි ප්‍රමුඛතම ගැටලුව වූයේ එම අධික බලය මුළු තරඟය පුරාම එකලෙස පවත්වා ගන්නේ කෙසේද යන්නයි.
එවක එන්ජින්වල උපරිම බලය ලැබී ඇත්තේ ඉතා සුලු RPM සීමාවකදී බැවින්, එන්ජිම එකවරම බල සීමාවට පැමිණි සැණින් පසුපස රෝදය ලිස්සා යාම හෝ යතුරුපැදිය පාලනයෙන් ගිලිහී යාම නිතර සිදු විය.
ඊට අමතරව Crankshaft සහ Pistons අධික පීඩනයට ලක්වීම නිසා තරඟය අතරතුර එන්ජින් අකර්මණ්‍ය වීමද සුලබ සිදුවීමක් බවට පත්විය.
මෙම අභියෝගය හමුවේ කෙටි කාලයකදී ලබාගත හැකි උපරිම වේගයද, නැතහොත් තරඟයක් පුරා පවත්වාගත හැකි විශ්වාසදායක පාලනයද යන්න සෙවීමට ජපන් නිෂ්පාදකයන්ට අවශ්‍ය විය.
Kawasaki සමාගම තෝරාගත්තේ කෙළින්ම උපරිම බලය හඹායන මාවතයි. ඔවුන් Formula 750 සහ Daytona 200 වැනි තරඟ සඳහා 748cc water-cooled inline-triple එන්ජිමක් සහිත Kawasaki KR750 නිර්මාණය කළහ.
අශ්ව බල 130 ක් පමණ නිපදවූ මෙම යතුරුපැදිය 1978 Isle of Man TT තරඟයේදී පැයට සැතපුම් 192 ක දැවැන්ත වේගයක් වාර්තා කරමින් සියල්ලන් මවිත කරන්නට සමත් විය.
නමුත් එම වේගය හමුවේ එන්ජිමේ බලය මුදාහැරීම අතිශය බැරෑරුම් වූ අතර, එය පාලනය කිරීම ද ධාවකයාට දැඩි අභියෝගයක් විය.
එන්ජිම මත පැවැති අධික පීඩනය නිසා එහි Crankshaft එකක ආයු කාලය සැතපුම් 200 කට පමණක් සීමා විය.
මෙම සංකීර්ණතාව සහ නඩත්තු කිරීමේ අභියෝග හමුවේ 1975 සිට 1978 දක්වා කාලය තුළ Kawasaki සමාගම නිෂ්පාදනය කළේ KR750 යතුරුපැදි 20 ක් වැනි සුළු ප්‍රමාණයක් පමණි.
Suzuki සමාගම ඊට සම්පූර්ණයෙන්ම වෙනස් මාවතක් තෝරා ගන්නට විය. ඔවුන් 500cc Grand Prix කාණ්ඩය වෙනුවෙන්ම 498cc rotary-valve, square-four එන්ජිමක් සහිත Suzuki RG500 නිර්මාණය කළහ.
ඉදිරිපසින් සිලින්ඩර 2 ක් සහ පසුපසින් සිලින්ඩර 2 ක් ලෙස සංයුක්තව සැකසූ මෙම එන්ජිම මගින් යතුරුපැදියේ පළල අඩු කර පාලනය පහසු කරන්නට හැකිවිය.
අශ්ව බල 100 කට වඩා වැඩි බලයක් සහ පැයට සැතපුම් 175 ක වේගයක් ලබා දුන් Suzuki RG500 යතුරුපැදිය, Kawasaki KR750 යතුරුපැදිය තරම් වේගවත් නොවූවත්, තරඟය පුරා එකලෙස ධාවනය කිරීමට හැකි විශ්වාසදායක යතුරුපැදියක් බවට පත් විය.
වඩාත්ම වැදගත් කරුණ වූයේ, Suzuki සමාගම මෙම තාක්ෂණය තමන් වෙත පමණක් සීමා නොකර, පෞද්ගලික තරඟකරුවන්ටද මිලදී ගැනීමට පහසුකම් සැලසීමයි.
1976 Rothmans Pro Series වැනි තරඟවලදී Kawasaki KR750 හි වැඩි එන්ජින් ධාරිතාව හමුවේ වුවද, Suzuki RG500 හි ස්ථාවර පාලනය සහ විශ්වාසදායක බව කැපී පෙනෙන්නට විය.
එහි ප්‍රතිඵලයක් ලෙස Suzuki සමාගම RG500 හි සාර්ථකත්වය මත 1976 සිට 1982 දක්වා අඛණ්ඩව වසර 7 ක් 500cc Manufacturers' World Championship ශූරතාව දිනා ගැනීමට සමත් විය.
1976 ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන 12 න් 11 ක්ම හිමිකර ගත්තේ RG500 පදවන ලද ධාවකයින් වීමෙන්ම එහි සාර්ථකත්වය මැනවින් පිළිබිඹු වන්නට විය.
පසුව 1985 දී නිකුත් වූ Suzuki RG500 Gamma road-going යතුරුපැදිය හරහා මෙම GP තාක්ෂණය සාමාන්‍ය පාරිභෝගිකයා වෙතද සමීප විය.
Kawasaki KR750 යනු අතිශය වේගවත්, නමුත් පාලනය කිරීමට අපහසු, කෙටි කාලීන නිර්මාණයක් ලෙස ඉතිහාසයට එකතු විය.
නමුත් Suzuki RG500 මගින් පෙන්වා දුන්නේ වේගයට වඩා එන්ජින් සැලසුම, ස්ථාවර පාලනය, දිගුකාලීන පවත්වාගැනීම සහ බහුතර ධාවකයින්ට ලබාදෙන සහයෝගය මගින් මුළු තරඟ යුගයක්ම වෙනස් කළ හැකි බවයි.
එදා Suzuki RG500 මගින් ලෝකයට දායාද කළ එම තාක්ෂණික මූලධර්මය, පසුව සමස්ත 500cc Grand Prix තරඟාවලියේම පදනම බවට පත් විය.
Comments (0)
No approved comments yet. Be the first to comment!



