ලෝකය ජයගත් රෝද දෙකේ ආශ්චර්යය
ලෝක මෝටර් රථ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් නිෂ්පාදනය වූ වාහනය කුමක්දැයි යමෙකු ඇසුවහොත්, Volkswagen Beetle, Ford F-Series හෝ Toyota Corolla මෝටර් රථ බොහෝ දෙනෙකුගේ මතකයට ගලා එනු නොඅනුමානයි.

Photo Courtesy - Honda
වසර 65 ක කාලයකදී Volkswagen Beetle රථ මිලියන 23 කට වඩා නිෂ්පාදනය වූ අතර, 1977 සිට ඇමරිකාවේ ජනප්‍රියම Pickup Truck රථය වන Ford F-Series මාදිලි මිලියන 40 ක් නිපදවෙද්දී, පරම්පරා 11 ක් පුරා Toyota Corolla රථ මිලියන 43 කට වඩා අලෙවි වී තිබුණි.
නමුත් මේ සියලු දැවැන්ත වාහන අභිබවා යමින්, මුළු මහත් ලෝකයේම ආකර්ෂණය දිනාගත්, ලොව වැඩිම ප්‍රමාණයක් අලෙවි වූ අභ්‍යන්තර දහන එන්ජින් සහිත වාහනය වන්නේ Honda Super Cub යතුරුපැදියයි.
1958 වසරේ ආරම්භයේ සිට මේ දක්වා Honda Super Cub යතුරුපැදි මිලියන 100 කට වඩා ලොව පුරා අලෙවි වී ඇත්තේ මෝටර් රථ ඉතිහාසයේ අසමසම වාර්තාවක් තබමිනි.
කෙසේ වෙතත්, වසර 60 කට වැඩි අභිමානවත් ඉතිහාසයකට පසුව ජපාන දේශීය වෙළඳපොළ සඳහා නිපදවන 50cc Super Cub මාදිලිය 2025 මැයි මාසය වන විට නිෂ්පාදනය නැවැත්වීමට Honda සමාගම තීරණය කර ඇත.
වර්තමානයේ පවතින තදබල පරිසර විමෝචන නීති රීති සපිරීමට ඇති අපහසුව සහ Electric Bikes හා Scooters හි සීඝ්‍ර වර්ධනය මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
නමුත් Super Cub නාමය මෙතැනින් අවසන් නොවන අතර, වැඩි බලයකින් යුතු Super Cub 125 ද ඇතුළුව Honda සමාගමේ miniMoto පෙළගැස්ම වන Grom, Dax, Monkey, Trail 125 සහ Navi වැනි මාදිලි හරහා Super Cub හි අභිමානවත් උරුමය ඉදිරියටම ගමන් කරනු ඇත.
Honda Super Cub පිටුපස යෝධ සෙවනැල්ලක් ලෙසින් රැඳෙන්නේ Honda සමාගමේ නිර්මාතෘ, ඉංජිනේරු Soichiro Honda සහ ඔහුගේ මූල්‍ය හා වෙළඳපොළ උපායමාර්ගික සප්‍රාප්තිකයා වූ Takeo Fujisawa දෙපළයි.
මොවුන් දෙදෙනා අතර තිබූ විශේෂිත සාකච්ඡා සංස්කෘතිය හඳුන්වන ලද්දේ Waigaya යන නමිනි. එහි තේරුම ඕනෑම අයෙකුට නිදහසේ අදහස් පළකළ හැකි උණුසුම් සාකච්ඡාවක් යන්නයි.
Soichiro ඉතා තදින් අදහස් දැක්වූ අයෙකු වූ අතර, ඇතැම් විට සාකච්ඡා උණුසුම් වන විට කෝපයට පත්ව කුඩා මෙවලම්වලින් පවා පහර දුන් බව කියැවේ.
යුරෝපයේ ජනප්‍රියව පැවති NSU සහ Vespa වැනි Scooters දුටු Fujisawa හට අවශ්‍ය වූයේ සාමාන්‍ය ජනයාට මෙන්ම භාණ්ඩ හා ආහාර බෙදාහරින්නන්ට එක් අතකින් පැදවිය හැකි යතුරුපැදියක් නිර්මාණය කිරීමටයි.
එමෙන්ම ජපානයේ එකල පැවති බොරළු පාරවල් වල පහසුවෙන් ගමන් කළ හැකි, එකල පැවති Two-stroke එන්ජින් මෙන් 4 ගුණයක බලයක් ඇති 50cc Overhead-Valve Four-stroke එන්ජිමක් සහිත යතුරුපැදියක් නිර්මාණය කිරීමට ඔහුට අවශ්‍ය විය.
Soichiro Honda ඇතුළු කණ්ඩායම මෙම අභියෝගය ජයගනිමින් මෝටර් රථ ක්ෂේත්‍රයේ Ford Model T තැබූ වාර්තාවට සමාන විප්ලවයක් සිදු කිරීමට සමත් වූහ.
1958 දී නිකුත් වූ පළමු Super Cub 50 මාදිලිය එකල තාක්ෂණික අතින් ඉතා ඉදිරියෙන් පැවතුණි.
9,500 rpm දක්වා කරකැවිය හැකි 50cc Single-cylinder OHV 4-stroke එන්ජිම, Clutch ලිවර් එකක් තද කිරීමට අවශ්‍ය නොවන Centrifugal Clutch සහිත 3-speed Semi-automatic gearbox එක මෙන්ම, පදවන්නාට සුළඟින් හා දූවිල්ලෙන් ආරක්ෂා වීමට Plastic Fairing එකක් සහිත Step-through frame එක මෙහි විශේෂත්වයන් බවට පත් විය.
එසේම එකල පැවති කුඩා Scooter රෝද වෙනුවට අඟල් 17 ක ටයර් භාවිත කිරීම නිසා ඕනෑම දුෂ්කර මාර්ගයක ගමන් කිරීමේ හැකියාව මෙය සතු විය.
නිකුත් වී දෙවන වසර වන විට ජපානයේ සමස්ත යතුරුපැදි අලෙවියෙන් 60% ක වෙළඳපොළ ආධිපත්‍යයක් අත්පත් කරගැනීමට Super Cub යතුරුපැදියට හැකි විය.
ජපාන වෙළඳපොළ ආක්‍රමණයෙන් පසු Fujisawa ගේ අවධානය යොමු වූයේ ඇමරිකානු වෙළඳපොළ දෙසටයි.
එකල ඇමරිකාවේ වසරකට අලෙවි වූයේ යතුරුපැදි 60,000 ක් වැනි කුඩා ප්‍රමාණයකි. 1963 වන විට ඩොලර් 295 ක් වූ අඩු මිලකට Super Cub යතුරුපැදි මාදිලිය ඇමරිකාවට හඳුන්වා දෙනු ලැබීය.
New York හි Grey Advertising ආයතනය විසින් නිර්මාණය කරන ලද You Meet The Nicest People On A Honda ප්‍රචාරණ ව්‍යාපාරය හරහා, ඇමරිකානු සංස්කෘතිය තුළ යතුරුපැදි පිළිබඳව තිබූ මැරයන්ගේ වාහනයක්ය යන මතය සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, එය සාමාන්‍ය ගෞරවනීය ජනයාගේ වාහනයක් ලෙස ප්‍රචලිත කෙරිණි.
ඇමරිකාව සඳහා විශේෂයෙන් නිපදවූ Tandem Seat සහිත CA100 මාදිලිය කෙතරම් ජනප්‍රිය වූවාද යත්, ප්‍රකට The Beach Boys සංගීත කණ්ඩායම විසින් Little Honda නමින් ගීතයක් පවා නිර්මාණය කරන ලදී.
ඇමරිකාවේ විනෝදාංශයක් ලෙස ජනප්‍රිය වූ Super Cub යතුරුපැදිය, අග්නිදිග ආසියාවේ ප්‍රධානතම ගමනාගමන මාධ්‍යය බවට පත් විය.
මැලේසියාව ඇතුළු රටවල Super Cub සහ ඒ ආශ්‍රිත යතුරුපැදි Kapcai ලෙස හැඳින්වූ අතර, එහිදී මෝටර් රථ Modification කිරීමේ දැවැන්ත උප සංස්කෘතියක් බිහි විය.
වියට්නාම යුද සමයේදී යතුරුපැදි 750,000 කට වඩා වියට්නාමයට ආනයනය කළ අතර, ඉන් බහුතරයක් Super Cubs යතුරුපැදි වූ බව සඳහන් වේ.
මීට අමතරව ඉන්දුනීසියාවේ මෙය Bekbek ලෙසත්, පිලිපීනයේ XRM110 ලෙසත් විවිධ කලාපීය මාදිලි ලෙසින් ව්‍යාප්ත විය.
අද වන විට Honda Super Cub යනු හුදෙක් යතුරුපැදියක් පමණක් නොව, ගෝලීය සංස්කෘතික හා කාර්මික සංකේතයකි.
එහි මුල් ආභාෂය සහ තාක්ෂණය පදනම් කරගනිමින් Honda සමාගම විසින් නිර්මාණය කළ Navi වැනි නවීන යතුරුපැදි අදටත් Super Cub හි මුල් ආත්මය ඉදිරියට ගෙන යාමට සමත්ව තිබේ.
Comments (0)
No approved comments yet. Be the first to comment!


