ජපන් ඉංජිනේරු විද්‍යාවේ අමරණීය සළකුණ Honda NR750
ඉතිහාසයේ බිහිවූ ඇතැම් යතුරුපැදි හුදෙක් ගමන් පහසුව සැපයීමෙන් ඔබ්බට යමින් අනභිභවනීය ඉංජිනේරුමය විශිෂ්ටත්වය ලෝකය හමුවේ සනිටුහන් කිරීමට සමත්ව තිබෙනවා.

1990 දශකයේ ආරම්භයේදී ජපානයේ Honda සමාගම විසින් ලෝකයට හඳුන්වා දුන් NR750 මෝටර් සයිකලය එවැනි සුවිශේෂී නිර්මාණයක් ලෙස ප්‍රචලිතයි.
එකල පැවැති සාම්ප්‍රදායික ඉංජිනේරු විද්‍යාවේ සීමා මායිම් මුළුමනින්ම බිඳ දමමින්, එවකට Ferrari මෝටර් රථයකටත් වඩා අධික මිලකට අලෙවි වූ මෙය, ලෝක යතුරුපැදි ඉතිහාසයේ සදාකාලික සලකුණක් ලෙස රැඳී පවතිනවා.
මෙම අපූර්ව නිර්මාණයේ ආරම්භය 1979 වසර දක්වා දිවයනවා. එකල මෝටර් සයිකල් ග්‍රෝන් ප්‍රී තරග බිමේ ආධිපත්‍යය සැහැල්ලු මෙන්ම අධිවේගී 2-Stroke එන්ජින් සතුවුණා.
නමුත් Honda සමාගම සිය සාම්ප්‍රදායික 4-Stroke මූලධර්මවලින් බැහැර වීමට අකමැති වුණා. 2-stroke යතුරුපැදි පරාජය කිරීම සඳහා 4-stroke එන්ජිමක සිලින්ඩරයකට ඇතුළු වන වායු ධාරිතාව මෙන්ම එන්ජින් වේගය ද දෙගුණයකින් වැඩි කළ යුතු වුණා.
තරග නීතිවලට අනුව සිලින්ඩර ගණන 4කට සීමා කර තිබූ බැවින්, Honda ඉංජිනේරුවන් කිසිවකු නොසිතූ අතිශය සංකීර්ණ මාවතක් තෝරා ගත්තා. සාම්ප්‍රදායික රවුම් හැඩය වෙනුවට ඕවලාකාර පිස්ටන් භාවිත කිරීමට ඔවුන් තීරණය කළා.
Image : riders drive mag
එහෙත් ආරම්භයේදී මෙම ව්‍යාපෘතියට අසාර්ථකත්වයන් රැසකට මුහුණ දීමට සිදුවුණා. Oval Piston rings මගින් සිලින්ඩරය සීල් කිරීම සහ අධික උෂ්ණත්වය පාලනය කිරීමේ අපහසුතා නිසා නිතර නිතර එන්ජින් අක්‍රිය වීම් වාර්තා වුණා.
මේ නිසා තරගකාරී මාධ්‍ය විසින් මෙම ව්‍යාපෘතිය Never Ready යන උපහාසාත්මක නමින් හැඳින්වූවා. එහෙත් Honda ඉංජිනේරුවන් කිසිදු විටෙක පසුබට වූයේ නැහැ.
දශකයකට අධික කාලයක් පුරා සිදුකළ දැඩි කැපවීමෙන් සහ අති නවීන ලෝහ විද්‍යාත්මක පර්යේෂණවලින් පසු ඔවුහු මෙම ඕවලාකාර පිස්ටන් තාක්ෂණය සාර්ථක කර ගනිමින් එය මාර්ගවල භාවිතයට සුදුසු මට්ටමට ගෙන ඒමට සමත් වුණා.
NR750 හි හදවත ලෙස ක්‍රියාත්මක වන්නේ 748cc ධාරිතාවකින් යුත් අංශක 90 හි V4 එන්ජිමකි. ඕවලාකාර පිස්ටන් භාවිතය නිසා, සාමාන්‍ය රවුම් පිස්ටන් මෙන් දෙගුණයක වායු ධාරිතාවක් ලබා ගනිමින් එක් සිලින්ඩරයකට Valves 8ක් සහ Spark plugs 2ක් ඇතුළත් කිරීමට හැකි වුණා.
මුළු එන්ජිම සඳහාම Valves 32ක් ක්‍රියාත්මක වූ අතර, මෙහි ඇති අපූර්වත්වය නම් එක් පිස්ටන් එකක් සඳහා ටයිටේනියම් Connecting Rods දෙක බැගින්, සිලින්ඩර හතරට Connecting Rods අටක් භාවිත කර තිබීමයි.
14,000 RPM දක්වා භ්‍රමණය වන මෙම එන්ජිම ගියර් මගින් ක්‍රියාත්මක වන Camshafts හරහා පාලනය වූ අතර, එයින් නිකුත් වූ සුවිශේෂී හඬ Honda V4 එන්ජිමේ අනන්‍යතාව බවට පත්වුණා.
අශ්ව බල 125ක බලයක් සහ තත්පර 3.8කින් පැයට සැතපුම් 60ක වේගයක් අත්කර ගැනීමට හැකි වූ මෙම යතුරුපැදිය, හැසිරවීමේ පහසුවටත් වඩා අධික වේගයේදී ස්ථායීතාව රැකෙන අයුරින් නිර්මාණය කර තිබුණා.
එන්ජිමෙන් පමණක් නොව, NR750 යනු අභ්‍යවකාශ තාක්ෂණය සහ නවෝත්පාදනයන් රැසක එකතුවක් ලෙස හැදින්වීම වඩාත් උචිතයි.
යතුරුපැදියේ චැසිය සඳහා සැහැල්ලු ඇලුමිනියම් යොදාගත් අතර බඳ කොටස් වෙනුවෙන් Carbon Fiber සහ Fiberglass Composite යොදාගෙන තිබෙනවා.
හමුදා ජෙට් යානා Cockpit වල භාවිත කරන ආකාරයේ Iridium ආලේපිත සුළං ආවරණයක් මෙයට එකතු කර තිබෙනවා.
ධාවකයාගේ ඇස් මාර්ගයෙන් ඉවතට නොගෙන වේගය බලාගත හැකි වන පරිදි කැඩපත් හරහා පරාවර්තනය වන Floating Digital Display එකක් මෙන්ම, අසුන යටින් දිවෙන Exhaust පද්ධතිය සහ Single-sided Swingarm වැනි එකල මෝටර් සයිකල් ලෝකයේ දැකගත නොහැකි වූ අනාගතවාදී අංග මෙහි ඇතුළත් වුණා.
ගෝලීය වෙළඳපොළට හඳුන්වා දුන් සාමාන්‍ය RC40 මාදිලියට අමතරව, ප්‍රංශ වෙළඳපොළ සඳහාම විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද RC41 නම් දුර්ලභ සංස්කරණයක්ද ඉතිහාසයට එක්ව තිබෙනවා.
එකල ප්‍රංශයේ පැවැති අශ්වබල 100ක නීතිමය සීමාවට අනුකූල වීම සඳහා Camshaft හැඩතල මෙන්ම ECU / PGM-FI Ignition Mapping වෙනස් කරමින් මෙම උප මාදිලියෙන් ඒකක 20ක් වැනි කුඩා ප්‍රමාණයක් නිපදවා තිබෙනවා.
මුල් අවධියේදී ඩොලර් 50,000ක දැවැන්ත මිලකට අලෙවි වූ සහ නිෂ්පාදිත මුළු ඒකක සංඛ්‍යාව 300කට සීමා වූ මෙම යතුරුපැදිය , අද වන විට වෙන්දේසිවල ඩොලර් 150,000 සිට 220,000 දක්වා ඉහළ මිල ගණන් වලට ලංසු තැබෙනවා.
මූල්‍යමය වශයෙන් එය ලාභදායී ව්‍යාපෘතියක් නොවූවත්, ඉංජිනේරුවන්ට තම නිර්මාණශීලීත්වයේ සීමාවන් ඉක්මවා යාමට අවස්ථාව සැලසූ අපූර්ව නිර්මාණයක් ලෙස Honda NR750, යතුරුපැදි ඉතිහාසයේ සදා අමරණීය වනු නොඅනුමානයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!


