45 වසරක Magic Alonso ප්‍රාතිහාර්යය
මෝටර් රථ ධාවන පථය තුළ වේගය, උපායශීලී බව සහ කිසිදා නොදැවෙන අධිෂ්ඨානය එකට කැටි වූ ධාවකයෙකු පිලිබදව විමසූ විට Fernando Alonso නාමය ඔබේ මතකයට ගලා එනු නොඅනුමානයි.

අද දිනයේ තම 45වන උපන්දිනය සමරන ස්පාඤ්ඤ ජාතික ධාවන ශූරයා, දශක දෙකකට වැඩි කාලයක් පුරා F1 තරඟ බිමේ රැඳී සිටිමින් ක්‍රීඩාවේ සීමා මායිම් අලුතින් ලියූ ජීවමාන පුරාවෘත්තයකි.
2005 සහ 2006 වසරවලදී Renault කණ්ඩායම වෙනුවෙන් ලෝක ශූරතා ද්විත්වය දිනාගනිමින් Michael Schumacher ගේ ආධිපත්‍යය බිඳ දැමීමට සමත් වූ Alonso, දශක දෙකකට පසුව ද Aston Martin කණ්ඩායම නියෝජනය කරමින් තරුණ ධාවකයින් සමගින් තරග බිමේ රැදී සිටීමට සමත්වනවා.
1981 ජූලි 29 වන දින ස්පාඤ්ඤයේ Oviedoහි උපත ලැබූ Alonso, 2001 වසරේදී Minardi කණ්ඩායම හරහා F1 තරඟ බිමට පිවිසෙන්නට වුණා.
2005 වසරේදී එවකට F1 ඉතිහාසයේ ලාබාලතම ලෝක ශූරයා බවට පත්වූ ඔහු, පසුව Ferrari, McLaren සහ Alpine වැනි දැවැන්ත කණ්ඩායම් වෙනුවෙන් සිය විශිෂ්ට හැකියාවන් ප්‍රදර්ශනය කරන්නට සමත් වුණා.
F1 තරඟාවලි පමණක් නොව, Le Mans පැය 24 ධාවන තරග ශූරතා ද්විත්වයක් සහ FIA World Endurance Championship ශූරතාව ද දිනාගනිමින් ඔහු තමා ලොව ඕනෑම මෝටර් රථ ධාවන ආකෘතියකට අනුකූල විය හැකි සර්වකාලීන දක්ෂයකු බව ඔප්පු කිරීමට සමත් වුණා.
Image : Sky Sports
ප්‍රසිද්ධ ධාවන පථයේ දිදුලන තරුවක් වුවද, ඇලොන්සෝගේ ජීවිතයේ බොහෝ දෙනා නොදන්නා අප්‍රකට සහ කුතුහලය දනවන කරුණු රැසක් පවතිනවා.
Alonso ප්‍රථමයෙන් පැදවූ කුඩා Go-kart රථය Alonso ගේ පියා විසින් නිර්මාණය කොට ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වූ ලොරේනා වෙනුවෙනි.නමුත් ඇය ඒ සඳහා උනන්දුවක් නොදැක්වූ බැවින් වයස අවුරුදු 3 දී Alonsoට එම රථය උරුම වුණා.
එමෙන්ම, කුඩා අවධියේදී ඔහුගේ පවුලේ පැවැති ආර්ථික අපහසුතා නිසා තෙතමනය සහිත ධාවන පථවල භාවිත කරන Wet Tyres මිලදී ගැනීමට නොහැකි වූ අතර, තෙත පථවලදී පවා සාමාන්‍ය Slick Tyres භාවිතයෙන් රථය පාලනය කිරීමට ඔහුට සිදු වුණ.
මෙම දුෂ්කර අත්දැකීම පසුකාලීනව වැසි සහිත කාලගුණයේදී ඔහුට හිමි වූ අසමසම රථ පාලන කුසලතාවට ප්‍රධාන පදනම වී තිබෙනවා.
තවද, ඔහුගේ මව ඔහුගේ ධාවන ඇඳුම් ඔහු වර්ධනය වන විට තමා විසින්ම මසා සකස් කර දුන් අතර, පාසල් යන වියේදී වේගය මැනීමට පුරුදුව සිටි ඇලොන්සෝ පාසලට යන මග කොටස් තුනකට බෙදා දිනපතා තමාගේම වේගය මැන බලමින් වේගවත් වීමට උත්සාහ කොට තිබෙනවා.
තරඟ ආරම්භ කිරීම් 400කට වඩා වැඩි ප්‍රමාණයකට සහභාගී වෙමින් F1 ඉතිහාසයේ වැඩිම තරඟ ගණනකට සහභාගී වූ ධාවකයාගේ වාර්තාවට හිමිකම් කියන Alonso, වයස යනු හුදෙක් ඉලක්කමක් පමණක් බව ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා.
ධාවන පථයේදී දක්වන ආක්‍රමණශීලී ස්වභාවය, ටයර් කළමනාකරණය සහ තරඟය කියවීමේ තියුණු හැකියාව නිසා ඔහු අදටත් Magic Alonso ලෙස රසිකයන් අතර සම්භාවනාවට පාත්‍ර වනවා.
උපන්දිනය සමරන මෙම විශිෂ්ට ක්‍රීඩකයාට, ඉදිරි තරඟ වාරයන්හිදී ද මෝටර් රථ ධාවන ලෝකය වර්ණවත් කිරීමට ශක්තිය ලැබේවායි Speedmania අප සුබපැතුම් එක් කර සිටිනවා.
Comments (0)
No approved comments yet. Be the first to comment!



