Yevan David මුහුණ දෙන බුඩාපෙස්ට් අභියෝගය

Photo Courtesy - Getty Images
FIA Formula 3 තරගාවලියේ මීළඟ අදියර එළඹෙන සති අන්තයේදී හංගේරියාවේ බුඩාපෙස්ට් හි පිහිටි සුප්‍රකට Hungaroring ධාවන පථයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
AIX Racing කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලාංකීය ධාවන ශූරැ Yevan David තරග අංක 27 දරන රථයෙන් මෙම සති අන්තයේද තරග බිමට පිවිසීමට සූදානමින් පසුවනවා.
කිලෝමීටර 4.381 ක දිගකින් සහ වංගු 14 කින් සමන්විත Hungaroring ධාවන පථය, ධාවකයන්ගේ මෙන්ම ඉංජිනේරුවන්ගේ හැකියාවන් දැඩි ලෙස පරීක්ෂාවකට ලක්වන ස්ථානයක් ලෙස ප්‍රචලිතයි.
Hungaroring හි ඍජු මාර්ග කෙටි වන අතර එකිනෙකට ඉක්මනින් සම්බන්ධ වන වංගු බහුල බැවින් රථයේ ස්ථායිතාව සහ Grip එක උපරිම මට්ටමින් පවත්වා ගැනීමට ඉහළ Downforce Aero Setup එකක් අත්‍යවශ්‍ය වනවා.
ධාවන පථයේ පටු ස්වභාවය නිසා ප්‍රතිවාදීන් රථයක් පසුකර යාම ඉතා සංකීර්ණ වන අතර එම නිසා තරගයට පෙර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ වටයේදී ඉදිරි පෙළ ස්ථානයක් ලබාගැනීම තරගයේ ජයග්‍රහණයට අතිශය වැදගත් වනවා.
ධාවන පථයේ 2වන සහ 3වන කොටස් වල ඇති වංගු රටාව තුළ දී රථයේ ඉදිරිපස සහ පසුපස ලිස්සා යාම අවම කරගනිමින් ධාවනයේ යෙදීම දැවැන්ත අභියෝගයක් බවට පත්වනවා.
එමෙන්ම හංගේරියාවේ පවතින අධික උෂ්ණත්වය සහ ධාවන පථයේ ඇති දිගු වංගු නිසා ටයර් මත අධික තාපයක් හටගනු ලබනවා. ඒ හේතුවෙන් තරගය අතරතුර ටයර් කළමනාකරණය ජයග්‍රාහකයා තීරණය කරන ප්‍රමුඛ සාධකයක් බවට පත්වනවා.
Hungaroring ධාවන පථය Yevan හට ආගන්තුකයෙකු ධාවන පථයක් නොවන බව මතක් කළ යුතුමයි.
2025 Euroformula Open තරගාවලියේ හංගේරියානු අදියරේ පැවැති තරග 3න් තරග 2කදීම Rookie Winner ලෙස තරගය අවසන් කිරීමට Yevan සමත් වුණා.
එහිදී දෙවන තරගයේ තෙවන ස්ථානය දිනාගනිමින් ජයග්‍රාහී වේදිකාවට ගොඩවැදුනු යෙවාන් තෙවන තරගය සිව්වැන්නා ලෙසින් අවසන් කරන්නට සමත් වුණා.
Euroformula Open Dallara 324 රථයේ සිට බරින් වැඩි සහ ඉහළ Downforce එකකින් යුතු Formula 3 රථයට මාරු වුවද, Hungaroring පථයේ වංගු, Braking Points සහ ධාවන රිද්මය පිළිබඳව පවතින මෙම පූර්ව දැනුම AIX Racing ඉංජිනේරුවන් සමග මෝටර් රථයේ Setup එක සකස් කිරීමේදී Yevan හට විශාල වාසියක් වනු ඇතියි.
පසුගියදා සිල්වර්ස්ටෝන් අදියරේ Sprint තරගයෙන් Yevan ලද ඓතිහාසික Podium ජයග්‍රහණයෙන් පසුව, AIX Racing කණ්ඩායම තුළද නව ප්‍රබෝධයක් ඇති වී තිබෙනවා.
කණ්ඩායමේ ප්‍රධාන ධාවකයෙකු ලෙස වගකීම කරට ගෙන එළඹෙන අදියරේ සුදුසුකම් ලැබීමේ වටයේදී පටන් හොදින් තරග වැදීමට ඔහු සූදානමින් පසුවනවා.
මෝටර් රථ ක්‍රීඩා ලෝකය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළින්ම සලකුණු කරමින් Hungaroring හිදී තවත් ඓතිහාසික ජයග්‍රහණයක් කරා යාමට Yevan හට හැකිවේවායි යන්න Speedmania අපගේ ඒකායන පැතුමයි.
Comments (0)
No approved comments yet. Be the first to comment!